Hardware | ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ

0 comments

පරිගණක මොනිටරයේ නිතර මතුවන නොයෙක් දෝෂ තිබේ. ඒවා බොහෝමයක් පහසුවෙන් සමනය කරගත හැකි ඒවාය. එවැනි බහුල දෝෂ සහ ඒවා සමනය කරගන්නා ආකාරය මෙහි විමසා බලා තිබේ.

වරින් වර තිරයේ වර්ණ වෙනස් වීම.

මෙහිදී නියම වරණය ඇතිවී නැතිවී යාම හෙවත් වර්ණ විකෘතිතාව දැකිය හැක. වරින් වර නියමාකාර රූප ලැබීමත් නැවත වර්ණ විකෘති වීමත් සිදුවේ. සමහර විටෙක තිරය පුරා කහ, කොළ හෝ දුඹුරු වර්ණ පැච් වැඩි වී ඇති බව දැකිය හැක. වීජීඒ (VGA - Video Graphics Array) කේබලය දෝෂ සහිත වීම මෙයට බලපෑ හැකි ප්‍රධාන හේතුවයි.

මොනිටරයේ සිට වීජීඒ කාඩ් එකට ගමන් කරන වීජීඒ කේබල් එකේ ඇතුළතින් කේබල් කැඩී යාමක් හෝ ශෝට් වීමක් විය හැක. මෙය බහුලවම සිදුවන්නේ වීජීඒ කාඩ් එකට සවිවන සොකට්‍ටුවේ "කර" පෙදෙසිනි. එවිට එම සොකට්‍ටුව ඉවත් කර අළුතින් එකක් යෙදිය යුතුය.

මොනිටරය ඔන් කළ විට තැනින් තැන මඳ වශයෙන් වර්ණ වෙනස් වී තිබීම.

පොළොවේ ඇති චුම්බක ක්ෂේත්‍රය නිසා ටියුබයක් සහිත හෙවත් සී.ආර්.ටි (CRT- Cathode Ray Tube) මොනිටරයක් සෙලවුණු විට තිරයේ වර්ණ වෙනස් වේ. එහෙත් මොනිටරය ඔන් කිරීමේදී "ඪිගෝසිං" (degaussing) පරිපථය ක්‍රියාත්මක වී තිරයේ වර්ණ නැවත සකසයි. සී.ආර්.ටි. මොනිටරයක් ඔන් වන විට "බුස්" යන අනුරුවෙන් හඬක් ලෙස ඇසෙන්නේ මෙම ක්‍රියාවලිය සිදුවන විටය.

යම් ලෙසකින් ඩිගෝසිං පරිපථය අක්‍රීය වුවහොත්, වර්ණ සැකසීම සිදු නොවන බැවින් මෙම දෝෂය ඇතිවේ. මෙවිට "ඩිගෝසිං" පරිපථයේ දෝෂයක්දැයි සොයා බැලීමට, මොනිටරය ඔන් වන විට "බුස්" ශබ්දය නැතිදැයි පරික්ෂා කළ හැක. එසේම මොනිටරයේ මෙනුව (OSD Menu) මඟින් "ඩිගෝසිං" (degaussing) ‍තෝරා ක්‍රියාත්මක කර බැලිය හැක. එය නිවැරදිව ක්‍රියාත්මක වේ නම් තිරය ටික වේලාවත් තදින් ගැස්සී යථා තත්වයට පත්වනු ඇති අතර, දෝෂ සහිත නම් කිසිදු වෙනසක් ඇති නොවේ.

මොනිටරය තුළින් වරින් වර 'ටික්' හඬ මතුවීම.

සී.ආර්.ටි මොනිටරය තුළ ෆ්ලයි බැක් නම් අධි වෝල්ටීයතා ට්‍රාන්ස්ෆෝමරයක් තිබේ. එහි දෝෂ ඇති වූ විට, විදුලි සැර පිටතට පැනීම 'ටික්' හඬින් සිඳුවේ. මෙසේ ෆ්ලයි බැක් එක ඇසුරින් පැමිණිය හැකි දෝෂ ආකාර කීපයකි.

ෆ්ලයි බැක් එකේ අභ්‍යන්තර හානි මඟින් ඇතුළතින් විදුලි පුළිඟු පනී. කල් යාමේදී මෙම තත්වය වැඩිවන අතර 'ටික්' ශබ්දයත් සමඟ තිරය ගැස්සේ. බොහෝ කල් ගත වුවහොත් ෆ්ලයි බැක් කොටසින් ගිනි පුළිඟු පිට වී එය පළුදු වී විනාශ විය හැක. එහෙත් අපට හානි කර ගින්නක් හෝ පිපිරීමක් ඇති නොවේ.

වීදුරු ටියුබයේ ඉහළට පැමිනෙන අධිවෝල්ටීයතා ආවරණයේ (High Voltage Cap) එක ආසන්නයේ ‍රැස්වන දූවිලි අංශු නිසාද ආරෝපණ ‍රැස්වී කැප් එකෙන් පිටට පුළිඟු පනී.



මෙය වළක්වා ගැනීමට නිසිකලට සේවා නඩත්තු කළ යුතුය. මෙම දෝෂය පැමිණි විට එම ස්ථානය හොඳින් පිරිසිදු කර අධිවෝල්ටීයතා ආවරණය ආසන්නයේ ආරක්ෂිත ආලේපයක් ගල්වනු ලබයි. ෆ්ලයි බැක් හා 'හයි වෝල්ටේජ් කැප් ආසන්නයේ අධික වෝල්ටීයතාව (22000V පමණ) ඉතා හානිකරය. සැපයුම විසන්ධි කර ඇතිවිටද සමහර තැන්වල මෙම ආරෝපණ පැවතිය හැකි නිසා දැනුමක් නොමැතිව මොනිටරයක් ගැලවීමෙන් වැළකිය යුතුය.

මොනිටර වල තිරයේ තදින් වර්ණ ලප ඇතිවීම හෙවත් Color Patch ඇතිවීම

CRT මොනිටරයක තිරය චුම්බකවලට සංවේදී වේ. මේ නිසා ස්පීකර්, මැග්නටයිස් ඉස්කුරුප්පු නියන් හා ආයුධ වැනි දෑ තිරයට ළං වූ විට, ඉතා තදින් Color patch ඇතිවේ. මොනිටරයේ ඇති 'ඩිගෝසිං' (degaussing) පරිපථයේ ක්‍රියාකාරීත්වයෙන් මෙවැනි කලර් පැච් ඉවත් නොවේ. මේ සඳහා 'ඩිමැග්නටයිසර්' (De-Magnetizer) නම් උපකරණයක් භාවිතා කළ යුතුය.

(De-Magnetizer)යක් සොයා ගැනීමට අපහසු නම් කාන්දම් කැබැල්ලක් ගෙන color patch එක ඇති ස්ථානය මත ලංකර මදක් ගැස්සීමෙන්ද පැච් එක යවා ගත හැක.

අවවාදයයි: කාන්දම් කැබලි මගින් තාවකාලික සහනයක් පමණක් පැමිනෙන අතර නිතර නිතර කිරීමෙන් මොනිටරයේ සදාකාලික color patch ද ඇති වීමටද ඉඩ ඇත.

මොනිටරයේ දර්ශන නොමැතිව, දීප්තිමත් හරස් රේඛාවක් තිරය මැදින් දර්ශනය වීම.

මෙය CRT මොනිටර් වල තිරස් ආලෝක කදම්භ නිකුත් කරන පරිපථ කොටසේ (Vertical IC) හෙවත් වර්ටිකල් සෙක්ෂන් එකේ දෝෂයකි. තිරය පුරා දර්ශන ඇ‍ඳෙන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් සිරස්ව හා තිරස්ව වේගයෙන් චලනය කිරීමෙනි. දැන් එය සිරස්ව චලනය වීම නතර වුවහොත්, තිරස් රේඛාවක් සේ තිරය මැදින් දිස් වේ. බොහෝ විට වර්ටිකල් සෙක්ශන් එකේ ඩ්‍රයි ජොයින්ට් හෙවත් පෑස්සුම් දුර්වල වීමෙන්ද මෙම දෝෂය මතු විය හැක. එවැනි අවස්ථාවලදී මොනිටරයට අතින් තට්‍ටු කළ විට දෝෂය තාවකාලිකව යථා තත්වයට පත්වී, නැවතත් මතු වේ. එසේත් නොමැතිව වර්ටිකල් සෙක්ශන් එකේ වෙනත් දෝශයක් නම්, තට්‍ටු කළ විටද වෙනසක් නොවීම පවතී.

මෙම දෝශය ඇති වූ විට මොනිටරය තට්‍ටු කරමින් භාවිතා නොකළ යුතුය. මන්ද තනි රේඛාව ඇති වීමෙන් මොනිටර් තිරයේ රේඛාව පවතින ස්ථානයේ වර්ණ කලාප පිළිස්සී හානි විය හැකි බැවිනි. තට්‍ටු කිරීම නිසා තිරය මතු පිටට වර්ණ වදින උපාංගයේ (color gun) දෝෂද මතුවීමට පුලුවන. ඩ්‍රයි ජොයින්ට් ඇත්නම් ඒවා සොයා නැවත පෑස්සුම් කළ යුතුයි. නොඑසේ නම් පළපුරුදු කාර්මිකයෙකු ලවා මොනිටරය අලුත් වැඩියා කළ යුතුය.

LCD තිරවල පික්සෙල් දෝෂ

එල්.සී.ඩී (LCD - Liquid crystal display) තිරයක් සකසා ඇත්තේ කුඩා වර්ණ සංවේදී ඒකක හෙවත් පික්සෙල් ගණනාවක් එක් කොටය. තිරයේ රූප දිස් වන්නේ ඊට අනුරූපව හැම පික්සෙල් එකකම වර්ණය වෙනස් වීමෙනි.

සමහර පික්සෙල් දෝෂ සහිත වූ විට ඒතැන වර්ණය වෙනස් නොවී ස්ථීර වර්ණයක් පිහිටයි. මේ නිසා LCD මොනිටර මිලදී ගන්නා විට Background Wallpaper Image වශයෙන් සුදු හා කළු තිරයක් යොදා මොනිටරය පුරා ඇති පික්සෙල් සියල්ලක්ම එක සේ වර්ණවත් වේදැයි පරික්ෂා කළ යුතුය. සුදු තිරයේ කළු තිතක් හෝ කළු තිරයේ සුදු තිතක් පහසුවෙන් පෙනෙන නිසා මෙම ක්‍රමයට පික්සෙල් දෝෂ හඳුනා ගත හැක.

CRT මොනිටර භාවිතා කිරීමේ නිවැරදි හා ආරක්ෂාකාරී ක්‍රම.

පරිගණකය 'ඔන්' කර නමුත්, වැඩක් නොකර තබා තිබෙන විට, තිරය මත දිගු කාලයක් එකම රූපය පවතින විට, තිරය ඇතුළතින් ඇති රසායනික සංයෝගය ඛාදනය වී එම හැඩතල තිරය මත පැල්ලමක් සේ ඉතිරි වනු ඇත. මෙම තත්වයෙන් මොනිටර තිරය ආරක්ෂා කර ගැනීමට ඇති උපක්‍රමය Screen Savers ය.

Screen saver එකක් නිතරම වෙනස් වන දර්ශන වලින් යුක්ත වේ. එහෙත් දැනට ලබා ගත හැකි සමහර ස්ක්‍රීන් සේවර්වල එසේ නොසෙල්වී දිගු වේලාවක් එක සේ පවතින දර්ශන ඇති අතර ඒවායින් නම් මොනිටර් තිරය හොදින් ආරක්ෂා නොවේ.

ඔබේ අදහස් අපට ශක්තියක්. ලිපිය කියවා ඔබේ අදහස් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න.

ඔබගේ අදහස් අපට ශක්තියක්. මෙම ලිපිය ගැන ඔබේ අදහස් යොමු කරන්න

 
මොබයිල් ෆෝන් වලට ඕන කරන Applications, Games, Themes නොමිලේ ගන්න හොඳම වෙබ් සයිට් Web | නිකන් ඉන්න එකේ ගූගල්ටත් පොඩි සෙල්ලමක් දාමු Firefox වල Save කරපු පාස්වර්ඩ් බලන්නෙ මෙහෙමයි Firefox බ්‍රවුසරේ Google Chrome වගේ කරගන්නෙ මෙහෙමයි ඔබත් බ්ලොග් කරුවෙක්ද? පටන් ගන්න කලින් මේ දේවල් හිතුවද? ෆයිල් එකක් හොඳම වයිරස්ගාඩ් හැම එකකින්ම Scan කරගන්න පරිගණකයකින් Skype Account කිහිපයකට එකවැර Log වෙන්න ඔබේ පරිගණක තිරයේ (Monitor) නිතර මතුවන දෝශ
Copyright © 2010-2013 : SkyyMatrix Corp. | Twitter | Pastebin
weekhacker.com - All Rights Reserved
Daily Tech Tips and Tricks to Make you Smarter!
Powered By SkyyMatrix Corp.